භාවනා
භාවනා යනු කුමක්ද?
පුණ්‍යක්‍රියාවස්තු තුනකි. භාවනා යනු ඉන් එක් පුණ්‍යක්‍රියාවස්තුවකි.
එය බුදුරජාණන් වහන්සේ මේසේ වදාළහ.
තීනමනි භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථුනි, කතමානි තිණි.
දානමයං පුඤ්ඤකිරියවත්ථු, සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු.
මහණෙනි, මේ පින්කිරියවත් තුනෙකි. කවර තුනෙක යත්:
දානමය පුණ්‍යක්‍රියාවස්තු ය, ශිලමය පුණ්‍යක්‍රියාවස්තු ය, භාවනාමය පුණ්‍යක්‍රියාවස්තු යි. (පුඤ්ඤකිරියවත්ථු සූත්‍රය - අංගුත්තර නිකාය, අට්ඨක නිපාතය , දානවග්ග)
බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සුත්‍රයේ මේසේ වදාළහ.
මහණෙනි, යම්සේ දක්‍ෂ ගොඝාතකයෙක් හෝ ගොඝාතකයකුගේ අතවැසියෙක් හෝ ගව දෙනක මරා සතර මංසන්දියෙක කොටස් වශයෙන් වෙන් වෙන් කොට බෙදා හුන්නේ යම්සේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මහණ තෙම සිටි පරිදි පිහිටි පරිදි මේ කය ධාතු වශයෙන් සලකා බලයි. මේ කයෙහි පඨවි ධාතු, ආපෝ ධාතු, තෙජෝ ධාතු, වායෝ ධාතු ඇතැ යි. (සතිපට්ඨාන සුත්‍රය - මජ්ඣිම නිකාය)
බුදුරජාණන් වහන්සේ ඵෙණපින්ඩුපම සුත්‍රයේ මේසේ වදාළහ.
මහණෙනි, යම්සේ පුරුෂයෙක් හරයෙන් ප්‍රයෝජන ඇතියේ
හර සොයනුයේ හර සෙවීමෙහි සරනුයේ තියුණු කෙටේරියක් ගෙන වනයට පිවිසෙනුයේ ද.
හේ එහි ඇද
නැති අලුත් නොහටගත් බඩය ඇති මහත් කෙසෙල් කදක් දක්නේයැ. තෙල කෙසෙල් කඳ මුල
සිදින්නෙයැ. මුල සිඳ අග සිදින්නෙයැ. අග සිඳ පත්වැටි ගලවන්නේයැ. හේ එහි
පත්වැටි ගලවනුයේ ඵලයද නොලබන්නේය. හර කොයින් ද? ඇස් ඇති පුරුෂයෙක් ඒ තෙල කෙසෙල් කඳ දක්නේ යැ. සිතන්නේ යැ, නුවණින් විමසන්නේ යැ. දකින සිතන නුවණින් විමසන ඔහුට එය හිස් වූවක් සේම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේම වැටහෙන්නේ යැ, හර නැත්තාක් සේම වැටහෙන්නේ යි. කිම, මහණෙනි. කෙසෙල් කඳෙහි හරයෙක් වන්නේද?
මහණෙනි, එසෙයින් ම අතීත-අනාගත-පච්චුප්පන්න වූ ආධ්‍යාත්මික වේවයි බාහිර වේවයි ඖදාරික
වේවයි සූක්ෂ්ම වේවයි හීන වේවයි ප්‍රණීත වේවයි යම්කිසි සංස්කාර කෙනෙක්
ඇත්ද, දුර වේවයි ළග වේවයි යම්කිසි සංස්කාර කෙනෙකුත් ඇත්ද, මහණ එය දකියි,
සිතයි, නුවණින් පිරික්සයි. දකින සිතන නුවණින් පිරික්සන ඔහුට එය හිස් වූවක් සේම වැටහෙන්නේ යැ. බොල් වූවක් සේම වැටහෙන්නේ යැ, හර නැත්තාක් සේම වැටහෙන් යැ. මහණෙනි, සංස්කාරයන්හි කුමන හරයෙක් වන්නේද? (ඵෙණපින්ඩුපම සූත්‍රය - සංයුත්ත නිකාය, ඛන්ධක වග්ග, ඛන්ධ සංයුත්ත, පුප්ප වග්ග)
බුදුරජාණන් වහන්සේ සූඤ්ඤලොක සුත්‍රයේ මේසේ වදාළහ.
එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළහ: වහන්ස, ලෝකය ශූන්‍ය යැ ලෝකය ශූන්‍ය යැ යි කියනු ලැබේ. වහන්ස, කෙතකින් ලෝකය ශූන්‍ය යැ යි කියනු ලැබෙ දැයි. යම් හෙයකින් ආනන්දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේද, එහෙයින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ.
ආනන්දයෙනි, කිමෙක් ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ යැ යත්: ආනන්දයෙනි, චක්ෂුස ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ. රූපයෝ ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍යයහ. චක්කුවිඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ. චක්කුසම්ඵස්ස ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ. චක්කුසම්ඵස්ස ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවායි දුක් වේවායි නොදුක් නොසුව වේවායි යම් මැ වෙදයිතයෙක් ඇද්ද එ ද ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යි. ... මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවායි දුක් වේවායි නොදුක් නොසුව වේවායි යම් මැ වෙදයිතයෙක් ඇත් නම් එ ද ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යි. යම් හෙයකින් ආනන්දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ ද එහෙයින් 'ලෝකය ශූන්‍ය' යැ යි කියනුලැබේ. (සූඤ්ඤලොක සූත්‍රය, සංයුත්ත නිකාය, සළායතන වග්ග, වෙදනා සංයුත්ත)
වජිර භික්ඛුණි මේසේ වදාළහ.
කින්තු සත්තොති පච්චේසි මාරදිට්ඨි ගතන්තු
තෙ, - මරුව, කිම සත්වයෙකැහි
අදහන්නෙහිද? තාගේ මාර දුෂ්ටියෙක් නො වේද?
සුද්ධ් සංඛාර පුඤ්ජොයං නයිධ සත්තු පලබ්භති. - මේ හුදු සංඛාර පිණ්ඩයෙකි. මෙහි සතෙක් නො ලැබේ.
යථා හි අඬ්ගසම්භාරා හොති සද්දෝ රථො ඉති, - අවයව සමූහය හේතු කොට ගෙණ යම්සේ රථය යන ශබ්දයක් වේද
එවං ඛන්ධේසු සන්තෙසු හොති සත්තොති සම්මුති. - එසේම පඤ්චස්කන්ධයන් ඇති කල්හි සත්වයා යන ලෝක ව්‍යවහරය (සම්මුතිය) වේ. (වජිර සුත්‍රය - සංයුත්ත නිකාය, සගාථ වග්ග, භික්ඛුණි සංයුත්ත)
බුදුරජාණන් වහන්සේ අය්‍යකා සුත්‍රයේ මේසේ වදාළහ.
සබ්බෙ සත්තා මරණධම්මා මරණපරියොසානා මරණං අනතීතාති
සියලු සත්වයෝ මරණය ස්වභාව කොට ඇත්තෝය. මරණය කෙළවර කොට ඇත්තෝය. මරණය නො ඉක්මවූවෝ ය.
සබ්බෙ සත්තා මරිස්සන්ති, මරණන්තං හි ජීවිතං
සියලු සත්වයෝ මැරෙන්නාහ, ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේය. (අය්‍යකා සූත්‍රය, සංයුත්ත නිකාය, සගාථ වග්ග, කොසල සංයුත්ත, කොසල වග්ග)
බුදුරජාණන් වහන්සේ රාජ සුත්‍රයේ මේසේ වදාළහ.
ජාතස්ස අඤ්ඤත්‍ර ජරාමරණා.
උපන්නහුට ජරාමරණ හැර අනෙකෙක් නැත. (රාජ සූත්‍රය, සංයුත්ත නිකාය, සගාථ වග්ග, කොසල සංයුත්ත, බන්ධන වග්ග)
අශුභ භාවනා (කාමඡන්දය නීවරණය ප්‍රහීණ කිරීමට, අශුභ භාවනාව වැඩිය යුතුය.)
බුදුරජාණන් වහන්සේ මේසේ වදාළහ.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමඡන්දය උපදනේ නම්, උපන්නා වූ ද කාමඡන්දය භුයස්ත්‍යවය (නැවත නැවත වන බව) පිණිස විපුලබව පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ශුභනිමිත්ත යම් සේ වේ ද, එබදු වූ අන් එක ධර්මයකදු මම
(නුවණැසින්) නොදක්මි. මහණෙනි, ශුභනිමිත්ත නුනුවණින් මෙනෙහි
කරනුවහට නූපන්නා වූ ද කාමඡන්දය උපදනේ ය. උපන්නා වු ද කාමඡන්දය භුයස්ත්‍යවය පිණිස විපුලස්ත්‍යවය පිණිස පවත්නේ ය. (අංගුත්තර
නිකාය, ඒකක නිපාත, නීවරණප්‍රහාණ වර්ගය)
එම නිසා අශුභ භාවනාව කරන පුද්ගලායා, ශුභනිමිත්ත නුවණින් මෙනෙහි නොකෙරිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ මේසේ වදාළහ.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද කාමඡන්දය
නූපදනේ නම්, උපන්නා වූ ද කාමඡන්දය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ අශුභනිමිත්ත යම් සේ වේ ද, එබදු අන් එක ධර්මයකදු මම
(නුවණැසින්) නොදක්මි. මහණෙනි, අශුභනිමිත්ත නුවණින් මෙනෙහි
කරන්නාහට නූපන්නා වූ ද කාමඡන්දය නූපදනේ ය. උපන්නා වු ද කාමඡන්දය ප්‍රහීණ
වේ. (අංගුත්තර
නිකාය, ඒකක නිපාත, නීවරණප්‍රහාණ වර්ගය )
එම නිසා අශුභ භාවනාව කරන පුද්ගලායා, අශුභනිමිත්ත නුවණින් මෙනෙහි කෙරිය යුතුයි.
එය කෙසේ කෙරිය යුතුද?
එය මෙසේ යැයි බුදුරජාණන් වහන්සේ අංගුත්තර
නිකායේ ගිරිමානන්ද සූත්‍රයේ වදාළහ. (මෙය ගිරිමානන්ද මහණ ගිලන් වූ විට, බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට ගිරිමානන්ද මහණ වෙත ගොස් දශ සංඥා කියනු යැයි වදාළහ. මෙම අශුභ සංඥාව දශ සංඥා වලින් එකකි.)
ආනන්දයෙනි, අශුභ සංඥා කවර:
ආනන්දයෙනි, මෙ සස්නෙහි මහණ පා තලින් උඩ, කෙස්මතුයෙන් යට සම හිම් කොට ඇති නානාප්‍රකාර අශුචියෙන්
පිරි මෙම කය ප්‍රත්‍යවෙක්ෂා කරන්නේය: මේ කායයෙහි කේශයෝ ය, රොමයෝ ය, නිය
ය, දත් ය, සම් ය, මාංස ය, නහර ය, ඇට ය, ඇටමිදුලු ය, වකුගඩු ය, හෘදය
ය, අක්මා ය, දලබු ය, බඩදිව ය, පපුකැණ ය, අතුනු ය, අතුනුබහන ය, ඖදය්‍ය
ය, පුරීෂ ය, පිත් ය, ශ්ලෙස්මා ය, පූයා ය, ලේ ය, සෝදිය ය, මේදස් ය, කඳුළු
ය, වුරණු තෙල් ය, කෙල ය, මුකුනු ය, සඳ මිදුලු ය, මූය යන මොහු ඇතැයි මෙසේ
මෙ කයෙහි අශුභානුදර්ශීව වාසය කරයි. ආනන්දයෙනි, මේ අශුභ සංඥා යි කියනු ලැබේ. (ගිරිමානන්ද සූත්‍රය, අංගුත්තර
නිකාය, දසක නිපාත, සචිත්ත වග්ග)
අපි අශුභසංඥා වැඩුවෙමු. දැන් එහි භාවනඵලය කෙසේදැයි බලමු.
එය බුදුරජාණන් වහන්සේ චිත්තථසත්තසඤ්ඤා සුත්‍රයේ මේසේ වදාළහ.
මහණෙනි, කුකුළුපියාපතක් හෝ නහරකඩක් හෝ ගින්නෙහි බහාලනලදුයේ යම් සෙයින්
සඟෑවේ ද, හැකිළේ ද, පෙරළේ ද, ඍජු ව නො යේ ද, මහණෙනි, එ සෙයින්ම අශුභයෙහි පරිවිත වූ චිත්තයෙන් බහුල කොට වාස කරණ මහණහුගේ චිත්තය මෛථුනධර්ම සමාපත්තියෙන් සැඟෑවෙයි. හැකිළෙයි, පෙරළෙයි, ඉ ඳුව
නො යෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල්බව හෝ පිහිටනේය.
මහණෙනි, ඉදින් අශුභ සංඥායෙහි පරිවිත (පුරුදු) චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනසමාපත්තියෙහි අනුගතව පවති නම්, ප්‍රතිකුලතාව හෝ නො සිටුනේ නම්, මහණෙනි, "මා විසින් අශුභසංඥා නො වඩන ලදු, පෙර නො වැඩු කල්හි සෙයින් අශුභසංඥා වැඩු පසුකල්හිදු විශෙෂ(ලාභ) යෙක් මට නැත. මා විසින් භාවනාඵලය නො ලබනලදැ"යි එ භික්‍ෂුහු විසින් තෙල කරුණ දත යුතුයි. මෙසෙයින් එ කරුණෙහි ලා (හේ) මනා පැණෑතියේ වන්නේ ය.
මහණෙනි, ඉදින් අශුභ සංඥායෙහි පරිවිත චිත්තයෙන් බහුල කොට වෙසෙන මහණහුගේ චිත්තය මෛථුනධර්ම සමාපත්තියෙන් සැඟෑවේ නම්, හැකිළේ නම්, පෙරළේ නම්, ඉ ඳුව
නො යේ නම්, උපෙක්‍ෂාව හෝ පිළිකුල්බව හෝ සිටුනේ නම්, මහණෙනි, "මා විසින් අශුභසංඥා වඩනලදු, මට පෙරැට (භාවනා නො වැඩු කලට) වැඩි වීශෙෂයෙක් වැඩු පසුකල්හි ඇත, මට භාවනාවෙහි ඵල ඇතැයි" එ භික්‍ෂුහු විසින් දත යුතුයි. මෙසේ එ කරුණෙහි ලා මනාකොට දන්නේ වෙයි. (චිත්තථසත්තසඤ්ඤා සූත්‍රය, අංගුත්තර
නිකාය, සත්තක නිපාත, මහායඤ්ඤ වර්ගය)
විතක්කුපසමෙ ච යො රතො අසුභං භාවයති සදා සතො
එස ඛො ව්‍යන්ති කාහිති එස ඡෙචඡ්ති මාරබන්ධනං
යමෙක් අකුශලවිතර්කව්‍යුපශමයැ යි කියන ලද දශඅශුභාලම්බනයෙහි උපන් ප්‍රථමධ්‍යානයෙහි ඇලුනේ වේද, හැම කල්හි ම සිහි ඇතියේ ඒ අශුභධ්‍යානය වඩා ද
මෙ තෙම වනාහි තෘශ්ණාව ක්‍ෂය කරන්නේය. මෙ තෙම මාරබන්ධනය (හෙවත්
ත්‍රෛභූමකවෘත්තය) සිඳෑ ලන්නේ ය. (ඛුද්දක නිකාය, ධම්ම පද පාළි, තණ්හා වග්ග
17)
මෛත්‍රි භාවනා (ව්‍යාපාද නීවරණය ප්‍රහීණ කිරීමට, මෛත්‍රි භාවනාව වැඩිය යුතුය.)
බුදුරජාණන් වහන්සේ මේසේ වදාළහ.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්‍යාපාදය උපදනේ නම්, උපන්නා වූ ද
ව්‍යාපාදය භුයොභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ නම්, මහණෙනි, මේ ප්‍රතිඝ (අනිෂ්ට) නිමිත්ත යම් සේ වේ ද, එබදු වූ අන් එක ධර්මයකදු මම
(නුවණැසින්) නොදක්මි. මහණෙනි, ප්‍රතිඝනිමිත්ත නුනුවණින් මෙනෙහි
කරනුවහට නූපන්නා වූ ද ව්‍යාපාදය උපදනේ ය. උපන්නා වු ද ව්‍යාපාදය භුයොභාවය පිණිස විපුලභාවය පිණිස පවත්නේ ය. (අංගුත්තර
නිකාය, ඒකක නිපාත, නීවරණප්‍රහාණ වර්ගය)
එම නිසා මෛත්‍රි භාවනාව කරන පුද්ගලායා, ප්‍රතිඝනිමිත්ත නුවණින් මෙනෙහි නොකෙරිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ මේසේ වදාළහ.
මහණෙනි, යමක් හේතු කොට ගෙණ නූපන්නා වූ ද ව්‍යාපාදය
නූපදනේ නම්, උපන්නා වූ ද ව්‍යාපාදය ප්‍රහීණ වේ නම්, මහණෙනි, මේ මෛත්‍රිචිත්ත විමුක්තිය යම් සේ වේ ද, එබදු අන් එක ධර්මයකදු මම
(නුවණැසින්) නොදක්මි. මහණෙනි, මෛත්‍රිචිත්ත විමුක්තිය නුවණින් මෙනෙහි
කරන්නාහට නූපන්නා වූ ද ව්‍යාපාදය නූපදනේ ය. උපන්නා වු ද ව්‍යාපාදය ප්‍රහීණ
වේ. (අංගුත්තර
නිකාය, ඒකක නිපාත, නීවරණප්‍රහාණ වර්ගය)
එම නිසා මෛත්‍රි භාවනාව කරන පුද්ගලායා, මෛත්‍රිචිත්ත විමුක්තිය නුවණින් මෙනෙහි කෙරිය යුතුයි.
එය කෙසේ කෙරිය යුතුද?
එය මෙසේ යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.
"මාණවකය, බ්‍රහ්මයන් හා සහවාසයට මාර්ගය කවරෙ යත්: මාණවකය, මෙ සස්නෙහි මහණ
මෙත් සහගිය සිතින් එක් දෙසක් අරමුණු කොට වෙසෙයි. දෙ
වන දිග ද එසේ යැ තුන්වන දිග ද එසේ යැ සතර වන දිග ද එසේ යි. මෙසෙයින් උඩ යට
සරස හැම තන්හි සර්වාත්මතායෙන් සියලු සතුන් ඇති ලොව විපුල වූ මහත්ගත වූ
අප්‍රමාණ වූ අවෛර වූ අව්‍යාබාධ වූ මෛත්‍රිසහගත සිතින් අරමුණු කොට වාස කෙරෙයි. මාණවකය, මෙසේ මෛත්‍රිචිත්තවිමුක්‌තිය වඩනා ලද කල්හි ප්‍රමාණකෘත (කාමාවචර වූ) යම් කර්මයෙක් ඇද්ද, ඒ කර්මය එහි (රූපාවචරකර්මයෙහි) ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී.
මාණවකය, යම්සේ බලවත් සක් පුඹුනා පුරුෂයෙක් නිදුකින් මැ සතරදිග
(ස්වරයෙන්) හඟවන්නේ ද, එසෙයින් මැ මාණවකය, මෙසේ මෛත්‍රිචිත්තවිමුක්‌තිය
වැඩූ කල්හි යම් කාමාවචර කර්මයෙක් ඇද්ද, එය එහි ශේෂ නො වෙයි. එය එහි බැසගෙන නො සිටී. මාණවකය, මෙ ද බ්‍රහ්මයන් හා සහවාසයට මගෙකි. (සුභ සූත්‍රය, මජ්ඣිම නිකාය)
තවද බුදුරජාණන් වහන්සේ කුල සුත්‍රයේ මේසේ වදාළහ.
මහණෙනි, යම් සේ බොහෝ ස්ත්‍රීන් ඇති අල්ප පුරුෂයන් ඇති
යම් කිසි කුලයෝ වෙද්ද, ඔහු කළයෙහි සැඟවූ පහන් එළියෙත් සොරකම් කරණ කුඹු
සොරුන් විසින් සුවසේ වෙහෙසිය හැක්කාහු වෙති. මහණෙනි, එසෙයින් ම යම් කිසි
මහණකු විසින් මෙත්තාචේතෝවිමුත්තිය (මෛත්‍රීධ්‍යානය) නො වඩන ලද ද, බහුල නොකරණ ලද ද, හෙතෙ මේ අමනුෂ්‍යයන් විසින් සුවසේ වෙහෙසිය හෙන්නේ වෙයි.
මහණෙනි, යම් සේ අල්ප ස්ත්‍රීන් ඇති බොහෝ පුරුෂයන් ඇති යම් කිසි කුලයෝ
වෙද්ද, ඔහු කුඹු සොරුන් විසින් නො වෙහෙසිය හෙන්නාහු වෙති. මහණෙනි, එසෙයින් ම
යම් කිසි මහණකු විසින් මෙත්තාචේතෝවිමුත්තිය වඩන ලද ද, බහුල කරණ ලද ද, හෙත
මේ අමනුෂ්‍යයන් විසින් නො වෙහෙසිය හෙන්නේ වෙයි.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: "අප විසින් මෙත්තාචේතෝවිමුත්තිය
වඩන ලද් දී බහුල කරණ ලද් දී යුක්ත යානයක් මෙන් කරණ ලද් දී ප්‍රතිෂ්ඨාථයෙන්
වාස්තුවක් මෙන් කරණ ලද් දී එලඹ සිටියක් කරණ ලද් දී පුරුදු කරණ ලද් දී
මැනවින් පිරිපුන් කරණ ලද් දී වන්නී ය" යි මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය
යුතු මැයි. (කුල සූත්‍රය, සංයුත්ත නිකාය, නිදාන වග්ග, ඔපම්ම සංයුත්ත)
තවද බුදුරජාණන් වහන්සේ ඔක්ඛාසත සුත්‍රයේ මේසේ වදාළහ.
මහණෙනි, යමෙක් පෙරවරු මහබත් සැළි සීයක් දන්
දෙන්නේ ද, යමෙක් මද්දහනෙ හි මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙක් සවස් කල
මහබත් සැළි සීයක් දන් දෙන්නේ ද, යමෙකුත් පෙරවරු යටත් පිරිසෙයින් ගොදෝනා (දෙනගේ තනපුඬු එක් වරක් අදනා) කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙකුත් මද්දහනෙ හි යටත් පිරිසෙයින් ගොදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, යමෙකුත් සවස් වරු යටත් පිරිසෙයින් ගොදෝනා කල් පමණකුදු මෙත් සිත වඩන්නේ ද, මෙය ඒ දනට වඩා මහත් ඵල ය.
මහණෙනි, එහෙයින් මෙහි මෙසේ හික්මිය යුතු: "අප විසින් මෙත්තාචේතෝවිමුත්තිය
වඩන ලද් දී බහුල කරණ ලද් දී යානයක් මෙන් කරණ ලද් දී වාස්තුවක්
මෙන් කරණ ලද් දී එලඹ සිටියක් කරණ ලද් දී පුරුදු කරණ ලද් දී මැනවින්
පිරිපුන් කරණ ලද් දී වන්නී ය" යි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතු
මැයි. (ඔක්ඛාසත සූත්‍රය, සංයුත්ත නිකාය, නිදාන වග්ග, ඔපම්ම සංයුත්ත)
තවද බුදුරජාණන් වහන්සේ මේසේද වදාළහ.
මහණෙනි, ඉදින් මහණ අසුරුසනක් පමණකුදු මෙත් සිත මෙනෙහි කෙරේ නම්, මහණෙනි, මේ මහණ නොසිස් දැහැන් ඇත්තේ වෙසේය යි කියනු ලබේ. ශාස්තෘශාසනය කරන්නේ අවවාදය පිළිපදනේ නොසිස් වූ රට්ඨපින්ඩය (රටින් ලත් පින්ඩපාතය) වළදයි. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම්, (එහි ලා) කවර කථා ද? (අංගුත්තර
නිකාය, ඒකක නිපාත, ප්‍රභාස්වර වර්ගය)
තවද බුදුරජාණන් වහන්සේ මෙත්ත සුත්‍රයේ මේසේ වදාළහ.
මහණෙනි, කෙසේ වඩන ලද මෛත්‍රිචිත්තවිමුක්‌තිය කිනම්
ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට
ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවෙකනිස්සිත විරාගනිස්සිත නිරොධනිස්සිත
වොස්සග්ගපරිණාමි කොට මෙත්තාසහගත සතිසම්බොජ්ඣඩ්ගය වඩයි. ... මෙත්තාසහගත
උපෙඛාසම්බොජ්ඣඩ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටුඅරුමුණෙහි අනිටු හැඟීම් ඇතිව
වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු
අරුමුණෙහි ඉටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටු හැඟීම්
ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරුමුණෙහිත් අනිටු අරුමුණෙහිත් ඉටු හැඟීම් ඇතිව
වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු
අරුමුණෙහිත් අනිටු අරුමුණෙහිත් අනිටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ
නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසෙයි.ඉදින් ඉටු අරුමුණත් අනිටු අරුමුණත් යන දෙක දුරු කොට උපෙක්‍ෂා ඇතිව සිහි
ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා උපෙක්‍ෂා ඇතිව සිහි
ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. ශුභවිමෝක්ෂයට
හෝ පැමිණ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය (අරහත්වය) අවබෝධ
නොකරන මහණහට මෛත්‍රිචිත්තවිමුක්‌තිය ශුභය කෙළවර කොට ඇත්තීයයි මම කියමි. (මෙත්ත සූත්‍රය, සංයුත්ත නිකාය, මහාවග්ග, බොජ්ඣඩ්ගය සංයුත්ත, බොජ්ඣඩ්ගය වග්ග)
තවද බුදුරජාණන් වහන්සේ චතුත්ත පුග්ගල සුත්‍රයේ මේසේ වදාළහ.
මහණෙනි, මෙ ලොව ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රිසහගත සිතින් එක්
දිගක් පැහැස වෙසෙයි. එසෙයින් දෙවන දිගද එසෙයින් තෙවන දිගද එසෙයින් සිවුවන
දිගද මෙසේ උඩ යට සරස හැම තැන සර්වසත්වයන් කෙරෙහි ආත්මසමතායෙන් මුළු ලොව
විපුල වූ මහත්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ ව්‍යාබාධ රහිත වූ මෙත් සහගිය සිතින් පැහැස වෙසෙයි. හේ යම් ම ඒහි රූපයෙක්, වෙදනායෙක්, සංඥායෙක්, සංස්කාරයෙක්, විඥානයෙක්
වේ ද, ඒ ධර්මයන් අනිත්‍ය විසින්, දුඛ්‍ය විසින්, රෝග විසින්, ගඩ විසින්,
අඝ විසින්, ආබාධ විසින්, පරායත්ත විසින්, විනාශ විසින්, ශූන්‍ය විසින්,
අනාත්ම විසින්, නුවණින් දක්නේ ය. හේ කාබුන් මරණින් මතු සුදවැසි දෙවියන්ගේ සහවාසයට පැමිණෙයි. මහණෙනි, මේ උප්පත්තිය පුහුදුනන් හා අසාධාරණයි. (චතුත්ත පුග්ගල සූත්‍රය, අංගුත්තර
නිකාය, චතුක්ක නිපාතය, භය වග්ග)
තවද බුදුරජාණන් වහන්සේ සමාධි සුත්‍රයේ මේසේ වදාළහ.
මහණෙනි, අප්‍රමාණ (ලොකුත්තර) වූ සමාධිය නුවණැති ව ස්මෘතිසමන්වාගතව වඩමු. මහණෙනි, සම්ප්‍රඥාන ඇති ව ස්මෘතියෙන් යුක්තව අප්‍රමාණ සමාධිය
වඩනවුනට තමා කෙරෙහි ම ප්‍රත්‍යවෙක්ෂ්‍යාඥාන පස් දෙනෙක් උපදනාහ. කවර
පස්දෙනෙක යත්: "මේ (අරහත්ඵල) සමාධිය ප්‍රත්‍යුත්පන්න (අධිගත
ක්‍ෂණයෙහිත්) සුඛ ඇතියේ ය'යිද මතුයෙහිත් සුඛවිපාක ඇතියේ ය"යිද තමා කෙරෙහිම
ඤාණය උපදනේ ය. "මේ සමාධිය කෙලෙසුන්ගෙන් තොරය, ලොකාමිසයෙන් තොරය"යි ද තමා
තුළම ඤාණය උපදනේ ය. මේ සමාධිය මහා පුරුෂයන් විසින් සෙවුනා ලදය"යී තමා තුළම
ඤාණය උපදනේ ය. "මේ සමාධිය ශාන්තය, ප්‍රණීතය, කෙලෙස් සන්සිඳවූවහු විසින්
ලබන ලදය, ඒකාග්‍රතායෙන් ලබන ලදය, සප්‍රයෝගචිත්තයෙන් ප්‍රත්‍යනීක ධර්මයන්
නිගෙණ (සාසවසමාධි මෙන්) උත්සාහයෙන් කෙලෙස් වළහා ලද්දේ නො වේ ය"යි තමා තුළම
ඤාණය උපදනේ ය. "එ මම සිහි ඇතියෙම් ම මෙ සමාධියට සමවදිමි. සිහි ඇතියෙම් ම
ඉන් නැගෙමි"යි තමා තුළම ඤාණය උපදනේ ය.
මහණෙනි, නුවණැති ව එළඹ සිටි සිහි ඇතිව අප්‍රමාණසමාධිය වඩමු. මහණෙනි,
සම්ප්‍රඥාන ඇති එළඹ සිටි සිහි ඇති අප්‍රමාණසමාධිය වඩනවුනට මේ පඤ්චඤාණයෝ තමා
තුළම උපදනාහයි. (සමාධි සූත්‍රය, අංගුත්තර
නිකාය, පඤ්චක නිපාත, පඤ්චඩ්ගික වග්ග)
දැන් අපි මෛත්‍රිචිත්තවිමුක්‌තියේ ආනිසංස දැනගමු. එය මෙසේ යැයි බුදුරජාණන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ වදාළහ.
මහණෙනි, ආසේවිත වූ භාවිත වූ බහුලීකෘත වූ යානීකෘත වූ වස්තුකෘත වූ අනුත්ථිත වූ පරචිත වූ සුසමාරබ්ධ වූ මෛත්‍රි චිත්තවිමුක්‌ති පිළිබද එකොළොස් අනුසස් කෙනෙක් කැමති විය යුතුවහ: කවර එකොළොස් දෙනෙක යත්:
සුවසේ හෝනේ ය. සුවසේ පුබුදුනේ ය. ලාමක ස්වප්න නො දක්නේ ය. මිනිස්නට ප්‍රිය වන්නේය. නො මිනිස්නට ප්‍රිය වන්නේය. දෙවියෝ රක්නාහ. ගිනි වේවයි විෂ වේවයි ශස්ත්‍ර වේවයි
ඔහට නො වදනේ ය. වහා සිත සමාධියට යෙයි. මුවපැහැ වෙසෙසින් පහදනේ ය. නො මුළා
සිහි ඇතියේ කලුරිය කරනේ ය. මතුයෙහි මග පල නො පිළිවිදුනේ බඹලෝ යනුයේ වෙයි.
මහණෙනි, ආසේවිත වූ භාවිත වූ බහුලීකෘත වූ යානීකෘත වූ වස්තුකෘත වූ අනුත්ථිත වූ පරචිත වූ සුසමාරබ්ධ වූ මෛත්‍රි චිත්තවිමුක්‌තිහුගේ මේ එකොළොස් අනුසස් කැමති විය යුත්තාහු යි. (මෙත්තානිසංස සූත්‍රය, අංගුත්තර
නිකාය, එකාදසකෝ නිපාත, අනුස්සති වග්ග)
සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්තා!!! (සියළු සත්වයෝ සුවපත් වෙත්වා!!!)
මෙහිදි, (වෛර නොකට), සියළු සත්වයන්ට එක හා සමානව මෛත්‍රි කෙරිය යුතුයි.
සත්වයන්ගේ ස්වභාවය කෙසේද? බුදුරජාණන් වහන්සේ මේසේ වදාළහ.
මහණෙනි, මෙ සසර නොදන්නා ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන්
ඇවුරුණු තෘශ්නාවෙන් බැදුනු දිවෙන සැරිසරණ සත්වයන්ගේ පුර්ව (මුල්) කෙළවර නො
පෙණෙයි. මහණෙනි, මේ දිගුකල යම් සතෙක් එක් සතක්හු මව නොවූ විරූ
ද, එබදු සතෙක් සුලබ නො වේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙ සසර නොදන්නා
ලද අග ඇතියේ ය. අවිද්‍යාවෙන් ඇවුරුණු තෘශ්නාවෙන් බැදුනු දිවෙන
සැරිසරණ සත්වයන්ගේ පුර්ව (මුල්) කෙළවර නො පෙණෙයි. මහණෙනි, මෙසේ
තොප විසින් දිගු කලක් දුක් විදින ලදී. තියුණු දුක්
විදින ලදී. (න්‍යාතිව්‍යසන) ව්‍යසන විදින ලදී. සොහොන හෝ පොළව වඩන ලදී. මහණෙනි, එහෙයින් සියලු
සංකාරයන්හි කළකිරෙන්නට නිසි මය, නොඇලෙන්නට නිසි මය, මිදෙන්නට
නිසිමැයි. (මාතු සූත්‍රය,සංයුත්ත නිකාය, නිදාන වග්ග, අනමතග්ග සංයුත්තය)
එබැවින්, මමද ඔබද අවිද්‍යාවෙන් ඇවිරි තෘශ්නාවෙන් බැදී මෙම සත්වයන් අතර සසර සැරිසරන්නේය.
තවද බුදුරජාණන් වහන්සේ සත්වයෝ ගැන මේසේද වදාළහ.
මහණෙනි, අපාද වෙත්වයි ද්විපාද වෙත්වයි චතුෂ්පාද වෙත්වයි බහුප්පාද වෙත්වයි
රූපී වෙත්වයි අරූපී වෙත්වයි සංඥා වෙත්වයි අසංඥා වෙත්වයි නෛවසංඥනාසංඥ
වෙත්වයි යම් තාක් සත්වයෝ වෙත් නම්, තථාගත අරහත් සම්‍යක් සම්බුද්ධයෝ උනට අග්‍රහයි කියනු ලබත්. (අප්‍රමාද සූත්‍රය, අංගුත්තර
නිකාය, දසක නිපාත, නාථ වග්ග)
එබැවින්, තමාද සත්වයෙකි, තව විදියකින් කියතොත්, තමා ද්විපාද සත්වයෙකි. එම නිසා, "සියළු සත්වයෝ" (
සබ්බේ සත්ථා) කියන විට තමාද සියළු සත්වයන් අතරට අයත් බව දැනගත යුතුයි. තව විදියකින් කියතොත්, "සියළු සත්වයෝ" (
සබ්බේ සත්ථා) කියන විට අයත් නොවන සත්වයෙක් එහි නැත. එමනිසා "සියළු සත්වයෝ සුවපත් වෙත්වා" කියන විට තමා සහ අන් සියළුම සත්වයන්ට එක හා සමානව මෛත්‍රි කෙරිය යුතුයි.
මෙය අවංකවම සහ සැබෑවටම සියළු සත්වයන්ට එක හා සමානව මෛත්‍රි කිරීමයි.